Saturday, May 16, 2020

උසස් පෙල ප්‍රධාන නොවන විෂයයන්

උසස් පෙලට කලයුතු විෂයන් පිළිබද ඔබ දැන ගත යුතු යම් කරුණු ටිකක් කියන්න හිතුවා.

උසස් පෙල විභාගයේදී ඔබට විෂයන් පහකට මුහුණ දීමට සිදු වෙනවා. එයින් ප්‍රධාන විෂයන් තුනක් තමන් තෝරා ගන්නා විෂය ධාරාව අනුව ආවරණය කර ගත යුතු වෙනවා. ඊට අමතරව උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය ඉංග්‍රීසි හා සාමාන්‍ය පොදු පරීක්ෂණයටද පෙනී සිටිය යුතුයි.

ප්‍රධාන නොවන විෂයන් ගැන බැලුවොත්,
12 හා 13 දෙකේදීම ඉගෙන ගත යුතු සාමාන්‍ය ඉංග්‍රීසි සදහා ලැබෙන සාමාර්ථය විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා බලපෑමක් සිදු කරන් නෑ. ඒ කියන්නේ ඒක අසමත් උනත් තමන්ට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්. නමුත් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගැනීමට හා උසස් පෙලට පසු බොහෝ පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කරන නිසා මෙම විෂය නිසි පරිදි ආවරණය කර ගැනීම සුදුසුය.
නමුත්, මෙම විෂය සදහා  ඉහළ සාමාර්ථයක් ලබා තිබීම වෘත්තියකට යාම උසස් අධ්‍යාපනය සදහා වෙනත් රටකට යෑම වැනි තැන් වලදි වැදගත් වෙන්න පුළුවන්.


හැබැයි සාමාන්‍ය පොදු පරීක්ෂණය සදහා ලැබෙන ලකුණු ප්‍රමාණය නම් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අතිශයින්ම වැදගත් වෙනවා. සරලව කීවොත් පොදු පරීක්ෂණයට අවම වශයෙන් ලකුණු 30 ක් ලබා ගෙන නැත්නම් විශ්ව විද්‍යාලයට යන්න බෑ. අනිවාරයෙන් මේකට ලකුණු 30 ගන්න ඕන.


මේකෙන් බොහෝ ප්‍රමාණයක් බුද්ධි පරීක්ෂණ ගැටළු නිසා තාර්කික හැකියාව, ගණිතමය හැකියාව තියෙනවානම් මේ ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. එම හැකියාව අඩුයි නම් වෙනත් සාමාන්‍ය දැනම ගැටළු වලින් වැඩි ලකුණු ගණනක් ගන්න වෙනවා. යම් තරමකට රටේ ලෝකයේ සිදුවන සාමාන්‍ය දේවල් ඒ කියන්නේ ක්‍රීඩා ලෝක ශූරතා වැදගත් සිදුවීම් වගේ දේවල්  පිළිබද අවධානයෙන් සිටීම වඩාත් සුදුසුයි.


ඊට අමතරව 12 ශ්‍රේණියේදි සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂය හැදෑරිය යුතු වෙනවා. 
සුපුරුදු නාමයෙන් කියනවානම් GIT. මේ විෂයත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා කිසිදු බලපෑමක් සිදු කරන් නෑ. මේ විභාගය කලත් නැතත් බලපෑමක් නෑ. ඒ උනත් හැම සිසුවෙක්ම මේක කල යුතුයි.

මේ විෂයේ විභාගය සාමාන්‍යයෙන්  12 වසර අවසානයේ පැවැත්වෙනවා. නමුත් 2018 වසරේ සිට මෙය මාර්ගගතව ඒ කියන්නේ ඔන්ලයින් සිදු කරන නිසා දැනට පොඩි කල් යෑමක් සිදු වෙලා තියෙනවා. හැබැයි මේක ටිකෙන් ටික නැවත 12 වසර අවසානයේදීම සිදු කරන තත්වයට පත් වේවි.

දැනට විභාග දෙපාර්තමේන්තුව මගින් සහතිකයක් ලබා නොදුන්නත් පාසල් මට්ටමින් සහතිකයක් ලබා දෙනවා. මේ වනවිට විභාගය 100% ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් නිසා (ඔන්ලයින් කල පසු) ඉතාම ඉක්මනින් විභාග දෙපාර්තමේන්තුව මගින් සහතිකයක් ලබා දේවි.

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සිදු කරපු අයට නම් මේ විෂයෙන් බොහෝ කොටසක් ආවරණය වෙලා තියෙන්නේ. මේ විෂය වඩාත් වැදගත් වෙන්නේ අයි.ටී. සම්බන්ධ දැනුම නොමැති හා අඩු දරුවන්ටයි. අයි.ටී පිළිබද ප්‍රශස්ථ මට්ටමක දැනුමක් ලබා ගැනීමට මෙම විෂය බොහොම ප්‍රමාණවත්. ඒ නිසා හැම සිසුවෙක්ම මෙය සම්පූර්ණ කර ගැනීම වඩාත් සුදුසුයි. විශේෂයෙන් දැන් දැන් සියළු දේවල් මාර්ගගතව සිදු වන නිසා අයි.ටී. භාවිත නොවන ක්ෂේත්‍රයක් නොමැති තරම් නිසාත් මේක ප්‍රායෝගික සහිතව සම්පූර්ණ කර ගන්න එක හැම සිසුවාටම වටිනවා.

උසස් පෙළ කාලසටහනේදී ඉංග්‍රීසි විෂය සදහා කාලච්ඡේද 6 ක් ද සාමාන්‍ය තොරතුරු තාක්ෂණය සදහා කාලච්ඡේද 2 ක් ද වෙන් කෙරෙනවා. මෙම කාලච්ඡේද 2 තියෙන්නේ 12 වසරේදි පමණයි. ප්‍රධාන විෂයන් 3ට  කාලච්ඡේද 6 ක් වෙන් කලාම ඉතිරි කාලච්ඡේදයන් පාසල් පරිපාලන කමිටුවට අවශ්‍ය ලෙස පුස්තකාල වැනි වෙනත් ක්‍රියාකාරකම් සදහා යොදවනවා.

ඉතින් උසස් පෙල කරද්දි ප්‍රධාන නොවන විෂයන් බෙදී යන්නේ මේ විධියටයි.  ප්‍රදාන නොවුනත් ඒ හැම විෂයම වැදගත් වගේම ඒවා නිවැරදිව සම්පූර්ණ කර ගැනීමත් අත්‍යාවශ්‍ය වෙනවා..

Saturday, May 2, 2020

උසස් පෙළ ජය ගන්නට.....

බොහෝ විට උසස් පෙළට එන සිසුන් සාමාන්‍ය පෙල මානසිකත්වයෙන් මිදෙන්නේ 12 වසරත් ඉවර උනාට පසුව. නමුත් සිසුන් දැන ගත යුතුයි උසස් පෙළ කියන්නේ ලංකාවේ තියෙන අමාරුම තරග විභාගය කියන එක. ලකුණු දශම ගණනක වෙනසක් උනත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට බල පෑමක් සිදු කරනවා. ඒ වගේම උසස් පෙල කියන්නේ ශිෂ්‍යාගේ උවමනාවේ හා කැපවීමේ ප්‍රමාණය මතම ප්‍රතිඵලය තීරණය වන විභාගයක්. ශිෂ්‍යත්වය වගේ ට්‍රේන් කරවලා මේක කරන්න බෑ. ඒ නිසාම උසස් පෙළ කරන හා අළුතින් කරන්න එකතු වෙන අයට වැදගත් වෙයි කියලා හිතුන කරුණු ටිකක් ගැන කියන්න හිතුවා.

1. විෂය නිර්දේශය හොදින් අධ්‍යනය කරන්න.
උසස් පෙළට ආපු ගමන්ම විෂය නිර්දේශය කියවලා විෂය පිළිබද හරි අදහසක් ගන්න බැ. මේක වසර දෙකක සම්පූර්ණ කාලය පුරාම කළ යුතු දෙයක්.
තමන් තෝරා ගන්නා ලද විෂයන්ට අදාල විෂය නිර්දේශ ලබා ගන්න. අන්තර්ජලය හරහා මෙය පහසුවෙන් ලබා ගන්න පුළුවන්. තමන්ට ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවද කියන එක ගැන පොඩි අවබෝධයක් ඒකෙන් ලැබේවී.
එක් එක් පාඩම අවසන් වෙද්දි විෂය නිර්දේශය ආවරණය වෙළාද කියන එක තමන්ටම දැන ගන්න පුළුවන්.

2. සෑම විටම පාසල් යන්න.
බොහෝ විට උසස් පෙළට එන ළමයින් ටික කාලයකින් සිදු කරන දෙයක් තමයි පාසල් යන එක නතර කරන එක.
නමුත් මතක තියා ගත යුතු වැදගත්ම දේ. 80% පැමිණීම නැත්නම් එම ළමයා විභාගයට ඉදිරිපත් නොකිරීමට විදුහල්පතිට පූර්ණ බලයක් තියෙනවා කියන දේ.
අනිත් කාරණේ පාසලේ ගුරුවරයාගෙන් තමාට අවශ්‍ය විෂය කොටස් හා අපහැදිලි තැන් හොදින් අසා දැන ගැනීමට පහසුයි.
තමන්ගේ පාසැල් ගුරුවරයා උත්තර පත්‍ර පරීක්ෂකයෙක් නම් එය තමාට ලැබෙන අමතර වාසියක්.

3. අවශ්‍යයි කියා සිතෙනවා නම් තමන්ට සුදුසු අමතර පන්තියක් තෝරා ගන්න.
උසස් පෙලදි ළමයා කරන ලොකුම වැරැද්ද නොගැලපෙන අමතර පන්තියකට යාම. තමන්ගේ සහෝදරයට යාළුවට ගැලපෙන පන්තිය තමන්ට නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා තමන් ගිහිල්ලම බලලා තීරණය කරන්න.
හැබැයි ඉතා ඉක්මනින් එක් විෂයකට සුදුසු එක පන්තියක් පමණක් තෝරා ගන්න. එක විෂයකට පන්ති කීපයකට යන්න එපා.
රැල්ලට නොයා පේපර් මා(ර්)කින් කරන ගුරුවරයෙකුගේ යනවනම් වඩා හොදයි. විශේෂයෙන් අයි.ටී වලට තාක්ෂණවේදය වගේ අළුත් විෂයයන් වලට අනිවාර්යෙන් පේපර් මා(ර්)කින් කරන ගුරුවරයෙකුගේ  පන්ති යන්න. අයි.ටී. වල නම් බොහෝ ටියුෂන් ගුරුවරු විෂය නිර්දේශයට පිටින් උගන්වන්නේ.

4. ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල සිදු කර පුහුණුවක් ලබා ගන්න.
බෝහෝ විෂයන් සදහා දැන් ප්‍රායෝගික පරීක්ෂන පවත්වනවා. නැතිනම් ව්‍යුගත කෙටසේදී ප්‍රායෝගික කොටස් වලට අදාලව ප්‍රශ්න ලබා දෙනවා.
ඉතින් මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හොදින්ම කර ගන්න පුළුවන් තැන පාසල. පාසලේදී සියළු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්පූර්ණ කර ගන්න. ටියුෂන් එකෙන් ඒ දේවල් 100% ලැබෙයි කියලා හිතන්න බෑ.
උදාහරණයකට රසායන විද්‍යාව ලැබ් එකේ පරීක්ෂණ ළමයි 1000 විතර ඉන්න ශාලාවක කරන්න බෑනේ. අයි.ටී වගේ විෂයකට අදාල පරීක්ෂන ඒ කියන්නේ පරිගණක ක්‍රියාකාරකම් කරගන්න ලේසිම තැන පාසලේ පරිගණක විද්‍යාගාරය.

5. ඒකක පරීක්ෂණ වලට මුහුණ දෙන්න.
සෑම ඒකකයකටම පසුව ඒකක පරීක්ෂන වලට මුහුණ දෙන්න. තමන්ට එහෙම ඒකක පරීක්ෂණ පාසලෙන් හෝ අමතර පන්තියෙන් ලැබෙන් නැත්නම් අන්තර්ජාලයෙන් ඕන තරම් හොයා ගන්න පුළුවන්.
පාසල් පුස්තකාලය මෙන්ම ගම්වල නගර වල තියෙන පොදු පුස්තකාලවලත් විවිධ පාඩම් සදහා ප්‍රශන තියෙන පොත් තියෙනවා. ඒව පරිශීලනය කරන්න පුළුවන්.

6. සෑම වාර විභාගයකටම මුහුණ දෙන්න.
වාර විභාගයක් කියන්නේ විභාගය සදහා දැනට තමාගේ සුදානම මැන බලන්න පුළුවන් හොදම ආකාරයක්.
ඒකට මුහුණ දෙන්න ඕන උසස් පෙලට මහුණ දෙන ආකාරයටමයි.
වාර විභාගය වඩාත් සාධාරණව හා තනිවම සිදුකළ යුතුයි. කෙටියෙන්ම කියනවානම් කොපි කරලා වැඩක් නෑ. වාර විභාගයේදී තමන්ට අමාරු උන සංකීර්න කොටස් නැවත හොදින් අධ්‍යනය කළ යුතුයි.

7. සටහන් සම්පූර්ණ කර ගන්න.
තමන් කරන විෂයන් වල සියළු විෂය කරුණු සටහන් සම්පූර්ණ කර ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. විශේෂයෙන් කෙටි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ විෂය නිර්දේශයෙන්ම ආවරණය වන නිසා මේ ගැන සැලකිලිමත් විය යුතුයි.
විභාගය ආසන්න වෙනකොට තමන් ළග සටහන් සම්පූර්ණ නෑ කියන කාරණය අමතර මානසික පීඩනයක් විය හැකියි.
ඒ වගේම අන්තිම මොහොතේ බොහෝ දෙනෙක් තවත් කෙනෙකුට සටහන් පොත් ලබා දීමට අකමැති නිසා මුල ඉදන්ම තමන්ගේ සටහන සම්පූර්ණ කර ගැනීම තමාගේ වගකීමක්. උසස් පෙල තරග විභාගයක් කියන දේ හැම වෙලේම සිතිය යුතුයි.
  
8. කෙටි සටහන් සකස් කර ගන්න.
සෑම ඒකකයකටම තමන්ට වැදගත් කරුණු කෙටි සටහනකට ගන්න. මුල් කාලයේ ඒකකයක් සම්පූර්ණ කොලයකට වගේ සකස් කර ගන්න. නමුත් කෙටි සටහන තවත් සටහන් පොතක් උනොත් වැඩක් නෑ.
විභාගය ලං වෙද්දි සම්පූර්ණ විෂය නිර්දේශයම කොල දෙක තුනකට සීමා කර ගන්න.
කෙටි සටහන් නිතර නිතර කියවන්න සහ මතකය අළුත් කර ගන්න.

9. පසුගිය වසරවල විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල අවසන් කරන්න.
වඩාත්ම වැදගත් කර්යය තමයි මේක. පසුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර සියල්ල අවසන් කරන්න. අඩුම තරමේ අවුරුදු 5ක 6ක වත්.
සමහරවිට පැරණි විෂය නිර්දේශයට අදාල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ පිළිබඳ විමසා බැලීමට සදුසුම කෙනා පාසලේ විෂය භාර ගුරුවරයා.
අධය්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන ආදර්ශ ප්‍රශ්න පත්‍ර අවසන් කරන්න. අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ඒවා ලබා ගන්න පුළුවන්.
ඒ වගේම විභාගය ආසන්නයේදී ඕනැ තරම් ප්‍රශ්න පත්‍ර සංසරණය වෙනවා. හැබැයි ලැබෙන තැනක් විශ්වාස කල නොහැකි ප්‍රශ්න පත්‍ර නොකිරීම තමයි හොදම දේ.  ඒ වගේම විවිධ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලින් ලබා දෙන ප්‍රශ්න පත්‍රත් විෂය නිර්දේශයට අනුගන නොවන අවස්ථා වැඩියි. ඒ වගේ ප්‍රශ්න පත්‍ර නොකර සිටීම වඩාත් හොදයි.

Friday, May 1, 2020

උසස් පෙළ විෂය ධාරව...



සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවා. දැන් තියෙන්නේ උසස් පෙලට විෂයක් තේරීම. බොහෝවිට මේ වෙනකොට විෂයක් තෝරාගෙන අවසන් වෙලා අමතර පන්ති යන්නත් පටන් අරගෙන.
නමුත් යම් කිසි විධියකින් අඩු රිසාල්ට් එකක් ගත්ත අය හොදින් සිතා බැලිය යුතු වෙනවා තමන් කරන විෂය ධාරාව පිළිබඳ.
කොහොම උනත් ලංකාවේ රැල්ල තියෙන්නේ  A7 / A8 / A9 මැත්ස් නැත්නම් බයෝ කරන්න. අකුරු ප්‍රමාණය ඊට අඩු වෙනකොට කොමස් කරන්න. එහෙමත් බැරිනම් ආර්ට් හෝ තාක්ෂණික විෂය. යම් ප්‍රමාණයක් පොදු විෂය ධාරාවට යනවා. පොදු විෂය ධාරාව කරන බහුතරයක් නම් ඒ ගැන අවබෝධයෙන් කරන්නේ.
මොනවා උනත් ඉහළම විශිෂ්ඨ ප්‍රතිඵල අරන් මැත්ස් බයෝ කරන ළමුන් උනත් උසස් පෙලදී වැඩේ ඇන ගන්නවා. ඒ නිසා තමන්ගේ උවමනාව හා අවශ්‍යතාවදක්ෂතාව අනුව මේක තෝරා ගන්න එක වටිනවා.

බොහෝ විට විෂයක් තෝරා ගන්න බලපාන කාරණා කීපයක් තියෙනවා.
1. මවගේ පියාගේ බලපෑම. (අවාසනාවන්තම දේ මේ කාරණය)
2. පරපුරේ සියල්ල කළ විෂය ධාරාව -අක්කා අයියා බලපෑම් කිරීම
3. වටපිටාවට පේන්න බයෝ මැත්ස් කිරීම
4. අඩුම තරමේ ටෙක් වත් සංකල්පය
5. පසලේ ගුරුවරුන්ගේ බලපෑම
6. විෂය සංකලන පිළිබද නොදැනුවත්කම
7. යාළුවා කරන දෙය කිරීම
8. කෙල්ල කරන විෂය කිරීමට අවශ්‍ය වීම
මේ එක කාරණයක් වත් වැදගත් නෑ කිසිදු ලෙසකින්වත්. සියල්ල ඉවත් කල යුතුයි.

තමාගේ අවශ්‍යතාව තමා අංක එක විය යුත්තේ. තමන්ගේ දක්ෂතාවය පිළිබද හොදම වැටහීම තියෙන්නේ තමන්ට නිසා ඒ ගැන ප්‍රබලව සිතිය යුතුයි.
දෙවනුව නියමිත විෂය සංකලනයක් තෝරා ගැනීම.
උදාහරණයකට මැත්ස් කරන අය ලේසියට අයි.ටී. කරද්දි දැන ගන්න ඕන ඉංජිනියරින් යන්න බෑ කියන එක.
දැන් වෙනකොට විෂයන් වගේම සංයෝජන අවස්ථා වැඩි නිසාත් උසස් අධ්‍යාපන අවස්ථා වැඩි නිසාත් විෂය සංයෝජන හා විශ්ව විද්‍යාල ප්‍රවේශ අවස්ථා පිළිබද විශ්ව විද්‍යාල පොත පරීශීලනය කර දැනුවත් වීම වැදගත්.

අනිත් කාරනේ ළමයා දැනුවත් විය යුතුයි තමා කැමති ඕනෑම විෂය සංයෝජනයක් කිරීමට ළමයාට අයිතියක් ඇති බව. තමන් දැනට සිටින පාසලේ එම විෂය සංකලනය නොමැතිනම් එය තිබෙන පාසලකට යෑමේ සම්පූර්ණ නිදහස ළමයා සතුයි. කිසිදු ගුරුවරයකුට ළමයාව බලෙන් තම විෂය සදහා යොමු කරවා ගැනීමට නොහැකියි.
ඒ වගේම තමා කැමති සංයෝජනය තියෙන පාසලකින් තමාව භාර නොගන්නවානම් ළගම පිහිටි කලාප කර්යාලයට යන්න. පාසලකට යාමේ අවස්ථාව ලැබේවී.

ඒ වගේම උසස් පෙළට සිසුන් බදවා ගැනීම ගැන තියෙන චක්‍රලේක කියවන්න. විශේෂයෙන් 2016/13 වක්‍රලේකය 2013/04 වක්‍රලේකය 2013/27 වක්‍රලේකය ඵලදායී වේවී. අන්තර්ජාල පරිශීලනය කරන කෙනෙකුට අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ඒවා හොයා ගන්න පුළුවන්.
අදාල විශයන් පිළිබද ගුරුවරුන්ගෙන් දැනුවත් වෙන්න.
සාමාන්‍ය පෙළ  9 ගත්තා කියන්නේ උසස් පෙල 3 ගන්න එක කජ්ජක්ද කියලා හිතන්න එපා.

9 ගත්තත් තමන් කැමති තාක්ෂණවේදයට නම් ඒක කරන්න. . තමන් කෘෂි කර්මයට කැමති නම් ජීව විද්‍යාව එක්ක ඒක කරන්න. අකුරු ගාණ අනුව විෂය සංකලනය තෝරන්න එපා.
ගණිතය කරල තුන ගත්තත් ගොඩ කියන කාරණය දැන් වෙනකොට වලංගු නෑ. නමුත් මැත්ස් කරලා සාමාන්‍ය ලෙස හෝ සමත් උනොත් විවෘත වන අවස්ථාවන් වැඩියි. ගණිතයට විද්‍යාවට ලැබුනත් තමන්ගේ ගණිතමය හා තාර්කික හැකියාව අඩුයි නම් උසස් පෙළ ගණිතය තෝරා ගන්න එපා.
විද්‍යාවට බොහොම අමාරුවෙන් විශිෂ්ට සාමාර්ථයක් දා ගත්තානම් විද්‍යා / ගණිත කරන්න එපා
ආර්ට් කරනවානම් සාම්ප්‍රධායිකව කරන විෂය සංකලනයම නොකර විෂ්ව විද්‍යාල පොත පරිශීලනය කරලා හොද විෂය සංයෝජනයක් තෝරා ගන්න. භූගෝලය වගේ විෂයක් කරනවානම් ඉංග්‍රීසි ටිකක් හදා ගන්න. කැම්පස් ගිහින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න.

දැන් බොහෝ විට රැල්ලට කරන්නේ ටෙක්. තාක්ෂණවේදය වගේ විෂය ධාරාවක් තෝරා ගන්නවානම් සැලකිලිමත් වෙන්න ජීව විද්‍යා / භෞතික විද්‍යා / රසායන විද්‍යා / ගණිතය යන විෂයන් වල  යම් යම් කොටස් තාක්ෂණ වේදය සදහා විද්‍යාව විෂය ඇතුලේ තියෙනවා. ඒ නිසා මේ විෂය ධාරාවට ගණිත හා විද්‍යාව හැකියාව යම් මට්ටමකට අවශ්‍ය වෙනවා.
ඒ වගේම ටෙක් එක්ක අයි.ටී. තෝරා ගනිද්දි සැලකිලිමත් වෙන්න. අයි.ටී. කියන්නේ ගණිත / වාණිජ / කලා / තාක්ෂණ ආදී විෂය ධාරා සියල්ල සමගින් කල හැකි විෂයයක්. ඒ නිසා අයි.ටී. කරද්දි ගණිතමය හැකියාව තිබීම තමන්ට වාසිදායකයි.
බොහෝ දෙනෙක් තාක්ෂණය තෝරා ගන්නේ ඒත් එක්ක අයි.ටී. තෝරා ගන්නේ රැල්ලට. තර්කන හැකියාව අඩු නම් (logical thinking) මේක කරද්දි එපා වෙනවා.
තාමත් සාමාන්‍ය පෙළ වල තාර්කික හැකියාව මනින්නේ ගණිතයෙන්. ගණිතයේ තියෙන සංඛ්‍යානය කුලක සම්භාවිතාව ජ්‍යාමිතිය වගේ දෙවල් වලින් තමයි ඒක මනින්න වෙන්නේ.
තාක්ෂණය විෂය තෝරා ගනිද්දි ගොඩක් අය මේ ගැන හිතන්නේ නෑනේ. ඒ හැකියාව නැතිව තමයි බොහෝ විට අයි.ටී. කරන්නේ.

මේ කාරණාත් එක්ක උසස් පෙලට වැදගත් වෙන මේ කරුණු හොයාගෙන කියවන්න. චක්‍රලේක කැම්පස් පොත කියවන්න. දන්න අයගෙන් විස්තර අහන්න. හැබැයි එයාලගේ තීරණ තමන්ගේ කර ගන්න එපා. අන්තිමට තමන් බොහොම හොදින් හිතන්න තමන්ට කල හැකි ගැලපෙන දේ ගැන. අන්න එහෙම තමන්ට දැනෙන විෂය ධාරාව මැරීගෙන හරි කරන්න.
ජය වේවා.